ඇත්ත හා බොරුව

නිශාන්ත කමලදාස

ඔබට අවශ්‍ය මිනිසුන්ට උදව් කිරීමට නම් ඔවුන්ට ඇත්ත කියන්න. කිසිවක් නොසඟවා ඇත්ත ම කියන්න. තිත්ත ඇත්ත ම කියන්න. ඔබට අවශ්‍ය ඔබට උදව් වීමට නම් මිනිසුන් අසන්නට කැමති දේ ඔවුන්ට කියන්න. මෙසේ කීවේ නවසීලන්තයේ හිටපු මුදල් ඇමති වරයෙකු වූ සර් රොජර් ඩග්ලස් ය. දේශපාලනඥයින් අරබයා ය.

අවාසනාවකට අප අසන්නට කැමති වන්නේ තිත්ත ඇත්ත නොව රසවත් බොරුව ය. අප අසන්නට කැමැත්තේ අප දැනටමත් දන්නා දේ තහවුරු කරන කරුණු මිස ඒවා අභියෝගයට ලක් කරන කරුණු නොවේ. අප අසන්නට කැමැත්තේ අප දැනට ගත කරන ජීවිතය අනුමත කරන කාරණා මිස ඒ ජීවිතය වෙනස් කිරීමට සිදු වන කාරණා නොවේ.

ඒ නිසා ම ඇත්ත කියන අය හා උරණ වන අපි රසවත් බොරු කියන අයට ළං වෙමු. ඒත් මිනිසුන්ට උදව් කරන්නට කැමති අය දිගින් දිගට ම ඇත්ත කියති. කෙදිනක හෝ ඊට සවන් දීමට මිනිසුන්ට සිදු වන බව ඔවුහු අදහති. ඒ ඇතැම් විට තමන්ගේ ජීවිත කාලය තුළ නොවෙන්නට පුළුවන් බව පවා ඇතැම් විට ඔවුහු දනිති. එහෙත් ඇත්ත කීම ඔවුහු අත් නො හරිති.

බොරුව කොතෙක් පිම්බී තිබුණ ද තාවකාලික ව බැබළුණ ද එහි ආයුෂ කෙටි ය. ඇත්ත යටපත් කරන්නට තැත් කළ ද දිය යට ට තෙරපා තබන ලද බැලුමක් මෙන් උඩට ඒම ට එය වලි කයි. ඒ නිසා ම එය මතු වීම දිගින් දිගට වැළැක්විය නොහැකි ය.

බොහෝ විට බොරු කරන අය එක් කණ්ඩායමකට එකක් ද තව කණ්ඩායමට තව එකක් ද කියති. ඔවුන් සිතා සිටින්නේ මේ බොරු දෙක වෙන වෙන ම කණ්ඩායම් දෙක විසින් ග්‍රහණය කර ගනු ඇති බව ය. වෙන වෙන ම කියා ඇති නිසා පරස්පරයක් ඇති නොවන බව ය. එහෙත් මේ දෙක මුණ ගැසීමට නියමිත ය. එදා ට කර්තෘ නොහොත් බොරු කියන්නා අනාථ වන්නේ ය.

බොරු කියන බොරු කරන තැනැත්තාට බොරුව මතක තබා ගැනීමට සිදු වේ. කවදා කාට කොතැනක ඒ බොරුව කියුවේ දැයි මතක තබා ගැනීමට සිදු වේ. එය අසීරු වැඩකි. එහෙත් එසේ නොකළොත් ඉක්මනින් ම බොරු කාරයෙකු හැටියට බෞතිස්ම ම ලබන්නට සිදු වේ. ඒ නිසා මේ අමතර වෙහෙස ඔවුහු ගනිති. එහෙත් බොරු ගණනාවක් මතක තබා ගැනීම අමාරු නිසා ඒවා එකිනෙක පැටලී වැරදි තැන වැරදි බොරුවක් කීමෙන් සියල්ල අනාවරණය වන අවස්ථා නැතිවා නොවේ.

ඇත්ත කියන තැනැත්තාට එහෙම ප්‍රශ්නයක් නැත. ඔහු කියන්නේ ඇත්ත නිසා එය අමතර ව මතක තබා ගැනීමක් අවශ්‍ය නොවන නිසා ය. ඔහු මේ වේදිකාවේත් ඒ වේදිකාවේත් කියන්නේ එක ම දෙය ය. නිෂ්පාදකයින් අමතා වී වලට ඉහළ සහතික මිලක් දෙන බව කියා පාරිභෝගිකයන් අමතා පහසු මිලකට සහල් සපයන බව කියන්නට ඔහුගේ දිව නැමෙන්නේ නැත. ඒ නිසා බොරු මාරු වීමෙන් ඇති වන අසීරුතා ඔහුට ඇති නොවේ.

බොරු කියන අය බොහෝ දුරට යැපෙන්නේ මිනිසුන්ට ඉක්මනින් අමතක වේය යන උපකල්පනය මත ය. එහෙත් තාක්ෂණික දියුණු අද දවසේ ඒවා නැවත නැවත මතු වන බව ඔවුන් මතක තබා ගත යුතු ය. ඒවා යූ ටියුබ් වීඩියෝ ලෙස හෝ පරණ පත්තර කෑලි ලෙස ප්‍රාදුර්භූත වීමට, පෙනී සිටීමට, ඉඩ තිබේ.

බොරු කීම පාපයක් ලෙස හඳුන්වන ආගම් අදහන අය පවා ඒවා සම්බන්ධයෙන් ව්‍යාතිරේක ගොඩ නගා ගෙන තිබේ. බොරු කීම වැරදි වුව ද සම්‍යයක් බොරු, අහිංසක බොරු, කාටවත් හානියක් නැති බොරු කීම වැරදි නැත යනු එවැනි ව්‍යාතිරේඛයකි.

තමන්ගේ කණ්ඩායමේ හා තමන්ගේ අභිලාෂ ඉෂ්ට වේ නම් තමන්ගේ නායකයා බොරුවක් කීමේ එහෙම ට වැරැද්දක් නැතැයි අදහන අනුගාමිකයෝ ද සිටිති. ඇතමුන් තර්ක කරන්නේ බොරු කියන්නේ සහ කරන්නේ හොඳ අරමුණක් වෙනුවෙන් නම් එහි වැරැද්දක් නැත කියා ය. ඒ නිසා එවැනි බොරු කියන එක වීර කමක්, කළ යුතු දෙයක්, හැටියට සලකන අය ද සිටිති. ඔවුන් බොහෝ දෙනෙකුට මග හරින සත්‍යය වන්නේ මෙසේ බොරු කියන කෙනෙකුට තව තැනක ද බොරුවක් කියන්නට හැකි බව ය. එතැන දී තමන් ද බොරුවේ ඉලක්කයක් විය හැකි බව ය.

බොරු කියන්නට පුරුදු වූ කෙනෙකුට බොරුවක් කීම අතිශයින් පහසු වැඩකි. එය හසු වී විට තවත් බොරුවක් කියා මාරු විය හැකි යැයි ඔහු විශ්වාස කරන නිසා ය. තමන්ගේ මුඛරි කම ඒ සඳහා යොදා ගැනීමට ඔහු පසුබට වන්නේ නැත.

ඒ අර්ථයෙන් ම ඇත්ත කියන්නට පුරුදු වූ කෙනෙකුට කලාතුරකින් හෝ බොරුවක් කීම අමාරු ය. කියන්නට උත්සහ කළ ද අතර මග දී ඔහු නතර වෙනු ඇත. එයින් අදහස් කරන්නේ ඇත්ත කීමත් බොරු කීමත් පුරුද්දට යන ඒවා බව ය. ඒවා ශරීරයට දිරවනු ඇති බව ය. ඒ පුරුදු, කෙනෙකුගේ චරිතය නිර්මාණය කරනු ඇති බව ය. ඒ නිසා ම බොහෝ විට බොරු කාරයෙකු හෝ ඇත්ත ම කියන, ඇත්ත ම පමණක්, කියන කෙනෙකු හැටියට මිනිසුන්ට ලේබල් වැදීමට ඉඩ තිබෙන බව ය.

ඇත්ත කියන කෙනෙකු හැටියට නමක් දිනා ගෙන සිටින කෙනෙකුට බොරුවක් කීම අමාරු වන්නේ එක බොරුවකින් පවා තමන් ගොඩ නගා ගෙන ඇති සන් නාමය අනතුරේ වැටෙතැයි දන්නා නිසා ය. බොරු කාරයෙකුට තවත් වැටෙන්නට තැනක් නැති නිසා ඔහු දිගට ම බොරු කියනු ඇත.

සමහර ආයතන තමන්ගේ අලෙවිය වැඩි කර ගැනීමට ආදායම වැඩි කර ගැනීමට ලාභය වැඩි කර ගැනීමට බොරු කරති. බොරු කියති. එසේ කරමින් ඔවුහු නොදැනුවත්ව ම තමන්ගේ ආයතනයේ වල කපා ගනිති. බොරුව අසු වූ පසු කඩා වැටෙන බව ඔවුන්ට නොදැනේ, නොපෙනේ. ඉහළ ආදායම විසින් ඔවුන් නිර්වින්දනය කරනු, අන්ධ කරනු, ලැබ ඇත. ඒ නිසා ම පුද්ගලයෙකු හැටියට ආයතනයක් හැටියට දිගු ගමනක් යෑමට අවශ්‍ය නම් සත්‍යය ම පවසන්නට පුරුදු වන්න.

දූෂණය හා වංචාව ආචාර ධර්ම නමැති ආයුධයෙන් අබිබවමු

ලංකාවේ ඔඩු දුවා ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දූෂණ හා වංචා ය. මේවා බොහෝ විට සිදු වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ය. මේ සම්බන්ධයෙන් මෑතක උදාහරණය අපට සපයන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ය. එහි ලේකම් වරයා අයථා ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් චුදිතයෙකු වී රක්ෂිත බන්ධනාගාරයේ ය. මෑතක දී ඒ හා සම්බන්ධව හිටපු සෞඛ්‍ය ඇමති ද අත් අඩංගුවට පත් විය. මෙය වඩාත් ප්‍රචලිත රාජ්‍ය අංහයේ වුව ද පුද්ගලික අංශය තුළ ද නැති වා නොවේ. ජනතාවට වැඩි පුර දැනෙන්නේ රාජ්‍ය අංශය තුළ සිදු වන දූෂණ හා වංචා නිසා ප්‍රසිද්ධියට පත් වන්නේ ඒවා ය.

ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති මාලාවන් ද උපදෙස් මාලාවන් ද තිබේ. ඇතැම් තැනක දූෂණ හා වංචා මේවා උල්ලංඝනය කරමින් සිදු වෙතත් තවත් බොහෝ තැනක දූෂණ හා වංචා සිදු වන්නේ මේවා අනුගමනය කරමින් ය. පළමු වර්ගයට දඬුවම් ලැබෙතත් දෙවැනි වර්ගයට ලැබෙන දඬුවමක් නැත. ඒවා අඩු වශයෙන් වාර්තා වන්නේ ද නැත. පොත් පිරිසිදු නිසා ය. පොත් පිරිසිදු කියන එකෙන් වැඩ පිරිසිදු ය යන්න හෝ අත් පිරිසිදු ය යන්න නම් කෙසේ වත් අදහස් නොවේ.

හැම නීතියක ම හැම ප්‍රතිපාදනයක ම අර්ථ නිරූපනයකට ඉඩක් තිබේ. යම් තනතුරක් දරණ තැනැත්තෙකුට ගන්නා තීරණ සම්බන්ධයෙන් තමන්ගේ අභිමතය පල කළ හැකි ඉඩක් තිබේ. ඒ අභිමතානුසාරී බලය මුළුමනින් ම ඉවත් කිරීම ප්‍රායෝගික නොවන නිසා ය. උදාහරණයක් හැටියට යම් දෙයක් සම්බන්ධයෙන් පිරිවිතර සෑදීමේ දී ඒවා වර නැගිය හැකි ආකාර ගණනාවක් තිබේ. ඒවා කවරේ ද යන්න නීති පොතකට ඇතුළත් කළ නොහැකි ය. මක් නිසා ද යත් ඒවා නිරන්තරයෙන් වෙනස් වන නිසා ය.

යම් ව්‍යපෘතියක සියලු කටයුතු එක ආයතනයකට බාර දෙනවා ද ඒවා අංශවලට කඩා වෙන වෙන ආයතන වලට බාර දෙනවා ද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අභිමතය ඒ ව්‍යාපෘතිය බාර කළමනාකරුවෙකු ට තිබේ. හැම ව්‍යාපෘතියකට ම එක ම ආකෘතියක් නොගැලපෙන නිසා ය. ඒ ආකෘති දෙකේ ම වාසි හා අවාසි තිබෙන නිසා දෙක ම සාධාරණීකරණය ද කළ හැකි ය. සියලු කටයුතු එක ම ආයතනයකට බාර දෙන විට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැක්කේ විශාල ආයතන කිහිපයකට පමණි. අංශ වල ට කැඩූ විට ආයතන ගණනාවකට, එක් එක් අංශය එක් එක් ආයතනයට බැගින්, බාර දිය හැකි ය. මේ තීරණය ව්‍යාපෘතියට වඩා වාසිදායක වන ලෙස ද නැතිනම් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට වාසි දායක වන ලෙස ද ගත හැකි ය. උදාහරණයක් ගෙන කියන්නේ නම් කළමනාකරු ට විශාල ආයතන හා සම්බන්ධ කම් තිබේ නම් ඔහුට ඒ අනුව එය තනි වැඩක් ලෙස ටෙන්ඩර් කිරීමේ ඉඩ හසර මේ තුළ තිබේ.

හෘද සාක්ෂිය හා ආචාර ධාර්මික හැසිරීම වැදගත් වන්නේ මෙතැන දී ය. නීතියට පමණක් ඉටු කළ නොහැකි කාර්යය භාරයක් මේ දෙකට ඒ අනුව හිමි වන්නේ ය. බාහිර පිරිසිදු කමකට එහා ගිය අභ්‍යන්තර පිරිසිදු කමක් අපේක්ෂා කරන්නේ මෙහි දී ය.

දූෂණය හා වංචාව පිටු දැකීම පහසු වී නැත්තේ මේ හෘද සාක්ෂිය හෝ ආචාර ධර්ම වලට රට තුළ වටිනාකමක් නැති නිසා ය. මේ කියන හෘද සාක්ෂිය අප බොහෝ දෙනෙකුට නැත. මිනිසුන් නොබලන තැනක කුණු දමා යෑමට පෙලඹෙන අපේ ආත්මයට එය ළං වන්නට විදිහක් නැත. ලෝකෙට පරකාසෙට පමණක් සිල් ගන්නා ගමන් අනෙකාට වෛර කරන ඉරිසියා කරන අපේ ආත්මයට ඒ බව දැනෙන්නට ඉඩක් නැත. පන්සිල් ගෙන ඊළග මොහොතේ ඒවා කඩන අපට මේ හෘද සාක්ෂිය ආගන්තුක ය.  

තනි කර ම හෘද සාක්ෂියට බාර දී දූෂණය හා වංචාව නැති කිරීමට බැරි බව සැබෑ ය. එහෙත් මේ හෘද සාක්ෂියට අමතන්නේ නැතිව දූෂණය හා වංචාවට තිත තැබීමට නම් බැරි ය.

අප මේ තත්වය සමහන් කරන්නට අනුගමනය කරන්නේ තීරණ ගැනීම තනි පුද්ගලයෙකුට නොපවරා මණ්ඩලයකට පැවරීමෙනි. එවිට මේ කියන අභිමතය තමන්ට වාසි ගෙන දෙන ලෙස භාවිතා කිරීමට නොහැකි වන නිසා ය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ මණ්ඩලයේ එක් අයෙකුට සෙසු අය මෙල්ල කිරීමේ හැකියාව පැවතීම ය. ඊටත් එහා මණ්ඩලයෙන් පිට කෙනෙකුට ද මණ්ඩලය මෙහෙයවීමේ හැකියාව පැවතීම ය. බලය ඇති අයට, ඒ තැනැත්තා දේශපාලනඥයෙකු වේවා ඉහළ නිලයක් දරන නිලධාරියෙකු හෝ වේවා, කණ්ඩායමක් ම වෙනස් කිරීමට ඒ බලය යොදා ගත හැකි වටපිටාවක් ලංකාව තුළ තිබීම ය. අප බලයට බිය වීම ය. බලය ඉදිරියේ හැකිළීම ය.

මේ තත්වය පාලනය කළ හැකි අනෙත් ක්‍රමවේදය ඇත්තේ වත්කම් හෙළිදරව් කිරීම හා ඒවා විමසීම හරහා ය. එය ද සහමුලින්ම ම සාර්ථක යැයි කිව හැකි නොවුනත් එක්තරා මට්ටම ක මැදිහත් වීමක් ඒ හරහා කළ හැකි ය. අල්ලස් හා දූෂණ කොමිසම පිහිට වූයේ ඒ සඳහා ය. මේ දැල මග හැර යෑමට කරන එක් තැතත් විය හැක්කේ වත්කම් තවත් කෙනෙකුගේ නමට ලියා ආපහු තමන්ට හිමි වන ඔප්පුවක් ද ඒ සමග ම ලියා තැබීමෙනි. එවිට ඒවා පවතින්නේ පරීක්ෂාවෙන් ඔබ්බෙහි ය. ඊට අමතර ව විදේශවල තැන්පත් කළ විට ද මේවා පරීක්ෂා කළ නොහැකි ය.

අපට නැවත නැවතත් හෘද සාක්ෂිය වෙත යෑමට සිදු වන්නේ මේ නිසා ය. දූෂණය හා නාස්තිය නිසා කෙළ වී ඇති රටක සිටින අපට මේ දෙස නව මානයකින් බැලීමට හැකි ය. එසේ කළ යුතු ය.

ආචාර ධර්ම නැති රටක් ආයතනයක් හෝ සංවිධානයක් තාවකාලිකව ජය ගත්ත ද අවසාන විශ්ලේෂණයේ දී පරාජය ලබන බව ආර්ථික අර්බුදය අපට බොහෝ ආකාරයකින් කියා තිබේ. ඒ නිසා ම මේ හෘද සාක්ෂිය පිළිබඳ සංවාදය නව වටයකින් ආරම්භ කළ යුතු ය. එය බණ කීමකට එහා ගිය තර්ක බුද්ධිය යොදා කරන සංවාදයක් බවට පත් කර ගත යුතු ය.

කේක් ගෙඩිය හදා ගැනීම හා බෙදා ගැනීම

කේක් හදන එක අමාරු වැඩකි. වෙලාවට බෑවේ නැත්නම් කරකුට්ටං වෙන්නත් ඉඩ තියෙනවා ය. මිශ්‍රණය වැරදුනොත් පදම හරි ගියේ නැත්නම් ලැබෙන්නේ කේක් එකක් නොවේ. නමක් නැති වෙන අට මගලයකි. කන උන්ගෙන් කයි කතන්දර අහගන්නට ද ඒ වගේ වෙලාවට සිදු වන්නේ ය.

හදපු කේක් එකක් සුවඳ දමමින් තිබෙන විට නම් කන්න අප හැමෝම ආසා ය. එවැනි අවස්ථාවක අයිතිවාසිකම් කියා ගෙන එන මැස්සෙකුට වඩා අප දෙවැනි වන්නේ නැත.

කෑල්ලක් දුන්නේ නැත්නම් උන්ගේ කුඩුකේඩු කම – උන්ට කේක් අපට පාන් කියන්නට ද අපි පේවී සිටින්නෙමු. දුන් කෑල්ලේ දිග පළල ගැන ගතු කියන්නට ද අපට කිසිදු පැකිලීමක් නැත. 

සමාජයක ද නිෂ්පාදනය ක්‍රියාවලිය දිරි ගැන්වූ විට ඒ දිරි ගැන්වීමේ ප්‍රමාණයට කේක් ලැබිය හැකි ය. ඒත් ඒ කේක් තනිව ම වළඳන්නට බැරි ය. බලං ඉන්නා අය කෙළ ගිලිනා බැවිනි. ඒ නිසා ඔවුන්ට ද කොටසක් දිය යුතු ය. ප්‍රශ්නය ඇත්තේ උන් සමාන කොටසක් ඉල්ලා සිටින විට ය. පැත්තක ඉන්නා අයට ද ලොකු කොටසක් දෙන්නට සිදු වන්නේ නම් එයින් ඇති කරන ප්‍රතිඵලය වන්නේ කේක් නිෂ්පාදනයට සමාජය උනන්දු නොවීම ය. එවිට පැත්තක ඉන්නා අයට ලැබෙන පංගුව බිංදුවට ම බසින්නේ ය.

කියුබාවට වෙනිසුයිලාවට හා මාඔ්ගේ චීනයට සිදු වූයේ එය ය.

කේක් තනියම වැළඳීම ශිෂ්ඨ ලෝකය විසින් පිලි ගනු ලබන්නේ නැත. ව්‍යාපාරිකයන්ගෙන් හා වැඩි ආදායම් ලබන්නන්ගෙන් බදු අය කර ඒ මුදල් රැකියා විරහිත අඩු ආදායම් ලබන්නන්ගේ සුබ සාධන කටයුතු වලට ද පොදුවේ හැමගේ සුබ සාධනයට ද වෙන් කිරීමට හැම රටක ම පාහේ ආණ්ඩු උනන්දු වන්නේ ඒ හේතුව නිසා ය.

ඇතැම් රටවල එසේ අය කර ගනු ලබන බදු තමන්ගේත් තම හෙංචයියලාගේත් හිත සුව පිණිස පමණක් යොදන නිසා ලැබිය යුතු මිනිසුන්ට නොලැබෙන අවස්ථා ද තිබේ. එහෙම අවස්ථාවල එසේ බැහැර කරනු ලබන ජනතාවට පමණක් නොව ව්‍යාපාරිකයන්ට ද එවැනි රාජ්‍ය පාලනයන් එපා වන තැනට කරුණු යෙදේ.

ලංකාවේ සිදු වූ ගෝල්ෆේස් අරගලය පිටුපස තිබුණු හේතුව එය ය.

කේක් ගෙඩිය ලොකු කර ගැනීමට නම් ව්‍යාපාරිකයන්ට දිරි දිය යුතු ය. ඔවුන්ට තව තවත් නිෂ්පාදනය කරන්නට රුකුලක් වන සේ සමාජ ක්‍රමය සකස් විය යුතු ය. එසේ ඔවුන් ජනනය කරන කේක් ගෙඩියෙන් (වත්කමෙන්) කොටසක් පොදු යහපත පිණිස ද ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැර කරනු ලැබ ඇති පිරිස් වෙත ද ලැබිය යුතු ය. ඒ කේක් ගෙඩිය ලොකු කර ගැනීමට දෙන දිරිය අඩු නොවන ලෙස ය. 

නොර්වේ ස්වීඩන් වැනි රටවල අනුගමනය කරනු ලබන්නේ ඒ ක්‍රමය ය. ඩෙන්සියා ඔ් පිං යටතේ චීනයේ ආරම්භ වූ ප්‍රතිසංස්කරණ වලට පදනම් කර ගත්තේ ද ඒ මූලධර්මය ය.

කිසියම් රැකියාවක වැටුප තීරණය වන්නේ කෙසේ ද?

  • නිශාන්ත කමලදාස

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක් සටහනකින් කියන්නේ උපාධිධාරීන්ට ලැබෙන වැටුප අට පාස් අය බඳවා ගන්නා සිකුයුරිටි රැකියාවක වැටුපට වඩා අඩු බව ය. එයින් අනියමින් කියවෙන්නේ වැටුප හා අධ්‍යාපන සුදුසුකම් අතර අනුලෝම සම්බන්ධයක් තිබිය යුතු බවත් එය පුදුමයකට මෙන් අපේ ර‌ටේ නැති බවත් ය.

ඒ දෙක අතර සම්බන්ධයක් තිබිය හැකි නමුත් එය මේ කියන අනුලෝම සම්බන්ධයක් නම් නොවේ. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් වැඩි වූ පමණින් ම වැටුප ඉහළ තැනක පිහිටු වන්නේ නැති බව ය.

යම් රැකියාවක වැටුප තීරණය කරන්නේ ඒ සඳහා කෙනෙකු බඳවා ගැනීමට හා එසේ බඳවා ගත් තැනැත්තන් රඳවා ගැනීමට ප්‍රමාණවත් වන ආකාරයට ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් ඉල්ලුම හා සැපයුම අනුව බව ය. මූලික ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ය.

යම් රැකියා විශේෂයකට මිනිසුන් බොහෝ සෙයින් අවශ්‍ය ව තිබිය දී ඉල්ලුම් කරන්නේ ස්වල්ප දෙනෙකු නම් ඒ රැකියාව සඳහා ලබා දෙන වැටුප් තල ඉහළ දැමිය යුතු ය. ඒ අවශ්‍ය ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට හා එසේ දිනා ගත් අය රඳවා ගැනීමට ය.

ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියෙන අය සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් අඩු ය. එවැනි සුදුසුකම් ඇති රැකියා සඳහා ඒ නිසා ඉල්ලුම් කරන්නේ අඩුවෙනි. එවැනි වාතාවරණයක ඒවායේ වැටුප වැඩි වේ. අධ්‍යාපන සුදුසුකම් වලට සමානුපාතික ලෙස වැටුප් ලැබිය යුතු ය ලැබෙන්නේ යැයි මතයක් ඇති වීමට හේතුව මෙය ය.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් වෛද්‍ය ශිෂ්‍යයිනුත් රටට මොනවා ප්‍රකාශ කළ ද සමත් වන වෛද්‍යවරු ප්‍රමාණය අඩු මට්ටමක පවත්වා ගන්නට උත්සහ ගන්නේ ද නව වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට විරුද්ධ වන්නේ ද මේ හේතුව ම නිසා ය. අධ්‍යාපන සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ගේ ගණන ඉහළ ගියොත් සැපයුම වැඩි වී මිල පහළ යන නිසා ය.

ඇතැම් අවස්ථාවක මිනිසුන් ඇතැම් රැකියා සඳහා ඉල්ලුම් නොකරන්නේ ඒවා දුෂ්කර නිසා ය. කට්ටක් කන්නට වන නිසා ය. අවදානම් සහිත නිසා ය. ශාරීරික ආබාධ ඇති විය හැකි නිසා ය. මානසික ආතතිය ඉහළ නිසා ය. අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් අවම වුව ද එවැනි අවස්ථාවක අවශ්‍ය ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීම හා රඳවා ගැනීම සඳහා ඇතැම් විට විශාල මුදලක් ගෙවීමට සිදු වේ.

ඇතැම් රැකියාවක දී අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වුව ද වඩාත් තීරණාත්මක වන්නේ කුසලතා ය. මේ සඳහා දිය හැකි හොඳ ම උදාහරණය නීතිඥ වෘත්තීය ය. මේ වෘත්තියට සම්බන්ධ වෘත්තීය වේදීන් අතර ගාස්තු වල වෙනස් කම් ඉතා විශාල වන්නේ මේ හේතුව නිසා ය. එක ම අධ්‍යාපන සුදුසුකම් තිබුණ ද සමහරුන්ට ලැබෙන්නේ සොච්චම් ගාස්තුවකි. ඒ තවත් අයට එමෙන් දෙතුන් ගුණයක නොව විසිතිස් ගුණයක ගාස්තු ලැබෙද්දී ය. මෙය ගායක ගායිකාවන් හා නළු නිළියන් සම්බන්ධයෙන් ද ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ද තවදුරටත් අදාළ ය.

ඇතැම් රැකියාවක දී වඩාත් අදාළ විය හැක්කේ කෙනෙකුගේ පෙනුම ය. ශරීරය ය. නිවේදක නිවේදිකාවන් නළු නිළියන් සම්බන්ධයෙන් ද පිළිගැනීමේ නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙය වඩාත් අදාළ ය.

මේ සියල්ල පසෙකලා අධ්‍යාපන සුදුසුකම් එක ම නිර්ණායක ලෙස සලකන්නට අපට පුළුවන් කමක් නැත. එහෙත් සමාජය ඊට දී ඇති සුවිශේෂී ස්ථානය නිසා ම ඇතැම් අය අතරමං වන්නේ රැකියා ලොවට පිවිසෙන විට වෙනත් කතාවක් අසන්නට ලැබුණු විට ය. මේ අතරමං වීමට තව හේතුවක් නම් රජයේ රැකියා ව්‍යුහය තුළ අධ්‍යාපන සුදුසුකම් බොහෝ විට ප්‍රතිලාභ ලබා දීමේ එක ම සාධකය කර ගැනීම ය. එය සෙසු ආයතන වලිනුත් අපේක්ෂා කරන උපාධිධාරීන්ට හිමි වන්නේ අපේක්ෂා භංගත්වය ය.  

කළමනාකරුවන්ට මේ සංවාදයේ වඩාත් වැදගත් ම කොටස නම් වැටුප තීරණය කළ යුත්තේ ඉල්ලුම හා සැපයුම අනුව වෙළඳ පොල විසින් බව ය. වෙළඳ පොල ලබා දෙන වැටුපට තරමක් වැඩි වැටුපක් දීම ඇතැම් විට ආයතනයට ලාභ දායක විය හැකි බව ය. ඒ බඳවා ගැනීම සඳහාත් නවකයන් ආයතන වටපිටාවට හුරු වී වැඩ කිරීම සඳහාත් කාලයත් ආයතනයේ සෙසු අයගේ ශ්‍රමයත් ඒ නිසා ම මුදලුත් වියදම් වන නිසා ය. ඊටත් අමතරව ආදායම ඉපයීම ඒ හරහා පමා වන්නට ද ඉඩකඩ තිබීම ය. විශේෂයෙන් ආයතනයේ සංස්කෘතිය හා වැඩ රටාව තීරණාත්මක කාර්යය භාරයක් ඉටු කරන තැනක ඉවත් ව යන මිනිසුන් ආදේශ කිරීම සඳහා කරන නව බඳවා ගැනීම් ක්‍රියාවලිය අප කල්පනා කරනවාට වඩා දිගු එකක් වීමේ ඉඩක් තිබීම ය.

රැකියා සොයන අයට මෙයින් ගත හැකි පාඩම වනුයේ තමන්ට කැමති අධ්‍යාපන සුදුසුකමක් ලබා ගෙන රැකියා සොයනවා වෙනුවට රැකියාව තෝරා ගෙන එයට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම වඩා නුවණක්කාර විය හැකි බව ය. ඒ අධ්‍යාපනය රැකියාව සඳහා ම ලබා ගන්නා අය වෙනුවෙන් දෙන උවදෙසකි. අධ්‍යාපනය හා රැකියාව ජීවිතයට අවශ්‍ය එකිනෙකින් ස්වායත්ත දෙකක් ලෙස සලකන අය එසේ කොටු වීම අවශ්‍ය නැත. සෙසු අය පසුව කන්කෙඳිරි නොගා රැකියාවට අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමට කැප වීම වඩා සුදුසු ය.

මේ සංවාදයෙන් දෙමාපියන් හා ගුරුවරුන් ගත යුතු පාඩම වන්නේ අධ්‍යාපනය රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය එක් සුදුසුකමක් පමණක් බව ය. ඒ නිසා ම දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලිය යුතු බව ය. ඔවුන් සමාජයෙන් ද පොත පතින් තරමට ම ඉගෙනිය යුතු බව ය. දැනුම තරමට ම කුසලතා වැඩි දියුණු කර ගත යුතු බව ය. අධ්‍යාපන සුදුසුකම් තව දුරටත් කෝකටත් තෛලයක් වන්නේ නැත.

අතරමැදියා නැතිව ම බැරි ද?

  • නිශාන්ත කමලදාස

නුවරඑලියේ එළවලු ලාභ ය. එහෙත් පොල් ගණන් ය. කුරුනෑගල පොල් ලාභ ය. එහෙත් එළවලු ගණන් ය. මේ ගැන කම්පා වෙන අය චෝදනා කරන්නේ අතරමැදියාට ය. ඔහු අධික ලාභයක් ලබන්නේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙපැත්ත ම ගසා කමින්ය යන්න අතිශය ජනප්‍රිය ප්‍රවාදයකි. බැලූ බැල්මට කතාව ඇත්ත ය.

ඉතින් මෙයින් ගැලවිය හැක්කේ ආණ්ඩුව වැනි ලාභ අපේක්ෂාවෙන් තොර ආයතනයක් මේ සඳහා මැදිහත් වීමෙනි. බැලූ බැල්මට ඒ කතාව ද ය.  

එහෙත් සත්‍යය එය ම ද? අප නිගමන වලට පනින්නට කලින් මේ තත්වය මතුපිටින් නොව ගැඹුරින් විමසිය යුතු ය. පළමුව අතරමැදියාගේ ගසා කෑම සලකා බලමු. අතරමැදියා මෙසේ අයුතු ලාබයක් ලබනවා නම් ඒ කියන්නේ මේ වෙළඳාම කිරීමට තවත් අය එකතු විය යුතු ය. ඒ තරඟයෙන් ඒ නිසා ම පාරිභෝගිකයාට ද නිෂ්පාදකයාට ද වාසියක් අත් වෙනු ඇත. වෙන එකක් තබා මෙසේ චෝදනා කරන අයට ද එක් විය හැකි ය. ඒ සඳහා තහනමක් නැත. තහංචියක් නැත. ඒත් එවැන්නක් සිදු නොවේ. එසේ වන්නේ ඇයි?

මේ වෙළඳාමට මූලික ආයෝජනයක් අවශ්‍ය ය. ඔබ සතුව මුදල් තිබේ නම් ස්ථාවර තැන්පතුවක තැන්පත් නොකර මෙවැන්නක යොදවන්නේ අඩු වශයෙන් 10% ක වත් ප්‍රතිලාභයක් එයින් ලබා ගත හැකි නම් ය. එහෙත් ඔවුන් ලබන ලාභය ඊට වඩා වැඩි ය. චෝදනාව එන්නේ ඒ විදිහට ය.

මීට අමතරව මේ සඳහා විවිධ වියදම් ද දැරීමට සිදු වේ. තමන්ගේ ම ලොරියක් ඇත්නම් ලීසිං ගාස්තු ද ඇතුළුව ලොරියක ට කළ ආයෝජනය, ඉන්ධන, නඩත්තු ගාස්තු, රියදුරු හා ගෝලයාගේ ගාස්තු, ඔවුන්ගේ ගමන් වියදම්, රිය නැවතුම් පොළ වල්වල ගාස්තු ද ඊට අයත් ය. කුලියට ගන්නේ නම් ලොරි කුලී ගෙවිය යුතු ය. එවිට මේ සියල්ලට අමතරව අයිතිකාරයාගේ පංගුව ද අයිති ය.

ඊට අමතරව මේ සියල්ල තුළ අවදානමක් ද ඇත. කලට වේලාවට විකුණා ගත නොහැකි වුවහොත් එළවලු කුණු විය හැකි ය. ඒවාගේ මිල උච්චාවචනය (උස් පහත්) විය හැකි ය. ඒ නිසා ලාබ පමණට ම පාඩු ද සිදු විය හැකි ය.

මේ ගනුදෙනු සිදු වන්නේ සම්බන්ධතා හරහා  ය. ඒ සම්බන්ධතා හදා ගැනීම අමාරු ය. ඒ සඳහා විශ්වාසය ගොඩ නැගිය යුතු ය. මේ සම්බන්ධතා පවත්වා ගෙන යා යුතු ය. එහි දී වැදගත් වන ප්‍රධාන කාරණය නම් දිගින් දිගට මේ සැපයුම සහතික කළ යුතු වීම ය. අපට අවශ්‍ය දවසක සපයා ඊළග දවසේ නිවාඩු ගන්නට මේ වැඩේ දී බැරි ය.

ඊට අමතරව මේ සඳහා කට්ටක් කෑ යුතු ය. ස්ථාවර තැන්පතුවක තැන්පත් කර කාලය එළැඹි කල මුදල් එකතු කර ගන්නා තරම් මේ කටයුතු පහසු නැත.

අතිවිශාල ලාභයක් ගන්නේ යැයි කියන අය තමන් මේ ව්‍යාපාරයට නොබසින්නේ මේ කරුණ සියල්ල බැලූ කල එය හිතන තරම් පහසු නොවීම නිසා ය. තමන් මේ කටයුත්තට අත නොගසා ආණ්ඩුව විසින් සිදු කළ යුතු යැයි ඔවුන් කියන්නේ ද ඒ නිසා ය. දැන් අපි ඒ නිසා ම ආන්ඩුව මේ කටයුතු බාර ගැනීමෙන් සිදු විය හැක්කේ කුමක් දැයි බලමු.

රාජ්‍ය සේවකයින්ට බොහෝ වරප්‍රසාද හිමි වේ. ඒ අතර නිවාඩු ද කළත් නැතත් බොහෝ තැන් වල පිරි නමන අතිකාල දීමනා දඬුවම් නොලබා පැවතීමේ නිදහස ද ඒ නිසා ම පුද්ගලික අංශයේ මෙන් කැප වීමක් නොමැති කම වශයෙන් බොහෝ දේ අඩංගු ය. ඒ වෙනුවෙන් ආණ්ඩුවට සාමාන්‍ය අතරමැදියෙකුට වඩා වැඩි බර පැනක් දැරිය යුතු වේ. වංචාව හා දූෂණය ද මීට අමතර ව එක් වේ. කප්පරක් මූල්‍ය හා වෙනත් රෙගුලාසි නිසා ඇතැම් තැනක තීරණ ගැනීමේ ප්‍රමාද ද ඒ නිසා වන නාස්තිය ද පිරිවැයක් ලෙස ගණන් ගත යුතු ය. ඊටත් අමතර ව මේ සියල්ල මැද්දේ වුව ද පාඩු පිට පවත්වා ගෙන යෑමේ හැකියාව ද අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. මේ සියල්ල පියවීමට මුදල් අවසානයේ විවිධ බදු ලෙසින් ජනතාවට ගෙවන්නට සිදු වේ. නිවැරදි ගණනයක් කරන්නේ නම් ඇති වන සමස්ත පාඩුව වෙළඳ පොල බලවේග වලින් ඇති කරන කිසියම් හානිකර බලපෑමක් වෙතොත් ඒවා ඉක්මවන බව පෙනේ. ඇත්තට ම සිදු වන්නේ රජයේ නිලධාරීන් හා සේවකයින් ද අවසානයේ අතරමැදියන් වීම ය. ඒ අර්ථයෙන් ගත් කල ආණ්ඩුවේ මැදිහත් වීමෙන් ද අවසානයේ ජනතාවට පලක් නොවේ.   

අප මේ කරුණු වලින් තේරුම් ගත යුතු පාඩම නම් අතරමැදියා නිෂ්පාදකයා හා පාරිභෝගිකයා තරමට ම මේ දම්වැලේ අත්‍යවශ්‍ය පුරුකක් බව ය. ආර්ථිකයේ ඔහුට හිමි නිශ්චිත කාර්යය භාරයක් ඇති බව ය. ඒ සඳහා ගෙවීමක් කළ යුතු බව ය. එම ගෙවීම තරඟය තුළ තීරණය වන්නක් මිසක කාගේ හෝ හිතළුවකින් තීරණය වන්නක් නොවන බව ය. ආණ්ඩුව මැදිහත් වෙනවා නම් මැදිහත් විය යුත්තේ නිදහස් තරඟයක් ඇති කිරීමට ය. මාෆියා බිහි වීම වැළැක්වීමට ය. අලුත් තරගකරුවන්ට තරඟයට පිවිසීමේ බාධක ඇත්නම් ඒවා ඉවත් කිරීමට ය. නැතිව අතරමැදියාගේ තැන ගැනීමට නොවේ.

සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ඇතැම් ආයතන වල කළමනාකරුවන්ගේ ද කල්පනාව අතරමැදියා ඉවත් කිරීමට ය. අතරමැදියාගේ භූමිකාව ද හැකි නම් තමන්ට පවරා ගැනීමට ය. අතරමැදියා ලබන ලාබය තමන්ගේ ලාබයට එකතු කර ගැනීමට ය. එහි දී සිදු වන්නේ තමන්ගේ මූලික ව්‍යාපාරයට ඇති අවධානය විසිරී යෑම ය. එය ද අවුල් කර ගැනීම ය. සීසර්ට සීසර්ගේ දේ දෙන්න, දෙවියන්ට දෙවියන්ගේ දෙන්න යන ජනප්‍රිය කියමන පිටුපස ඇත්තේ ද ඒ යථාර්ථය ය. අතරමැදියන් ඉවත් කරනු වෙනුවට වැඩි වැඩියෙන් අතරමැදියන් ඇති කරන හැටියක් කල්පනා කිරීම රටේත් ආයතනවලත් වාසිය පිණිස ම හේතු වන්නේ ය.

ඩයනා සහ හරිනි – මගේ ඡන්දය කාට ද?

ඩයනා සහ හරිනි යනු ජනප්‍රිය දේශපාලන චරිත දෙකකි. (ඒ ජනප්‍රියතාවය පොසිටිට් ද නෙගටිව් ද යන්න මෙහි දී අදාළ කර ගෙන නැත). මේ දෙන්නා සන්සන්දනය කරන්නට ඉක්මන් වෙන සමහරු ඩයනා තුළින් අශිෂ්ටත්වය ද හරිනි තුළින් ශිෂ්ටත්වය ද නිරූපනය වෙන බව කියන්නට ද උනන්දු වෙති. මතුපිට සාක්කි සියල්ල ඒ බව සනාථ කරන ඒවා ය. ඒත් විමසන මනසක් මතු පිටින් පෙනෙන දෙයින් සෑහීමකට පත් නොවේ. මේ ඒ නිසා උපන් සිතුවිලි පරම්පරාවකි.

ආකෘතිය අතින් ගත්තොත් හරිනි පට්ට ශිෂ්ට ය. අතිශයින් නාගරික ය. දැමුණු හා පාලනය කරන ලද චර්යාවක් ඇත්තේ ය. වචන මිසක අත පය භාවිතා කරන්නට උත්සහ ගන්නේ නැත. ඩයනා එහෙම නැත. කියන්නේ අමුවෙන් ය. මිනිසුන් තිගස්සමින් ය. ඉල්ලන්නේ ගේම ය.

හරය අතින් ගත්තොත් හරිනි තවමත් ගැමි ය. සංස්කෘතික කුරුසයේ බර ඇය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දරා සිටින්නී ය. ඩයනා මෙන් ගණිකා වෘත්තිය නීති ගත කරන්න යැයි ඇය ඉල්ලන්නේ නැත. කසිප්පු විකුණා ගංජා වවා ආර්ථිකය ගොඩ ගැනීම ගැන හරිනි හිතන්නේ නොකටයුතු වැඩ හැටියට බව ඒ ගැන ඇගේ නිශ්ශබ්දතාවයෙන් පෙනෙන්නේ ය. ඩයනා ඒ අතින් ද වඩා නාගරික ය. රාත්‍රී ජීවිතය හඳුන්වා දිය යූතු බව ඇය කියන්නේ ඒ තුළින් ඇති කරන ජන අප්‍රසාදය තඹයකුදු නොතකා ය. ඇය ඒ අර්ථයෙන් ඔසවා ගෙන සිටින්නේ පිරිමි ගණනාවකට ම උසුලන්නට බැරි වූ ධජයකි.

කසිප්පු ගංජා ආර්ථිකය පිළිබඳ කේන්තියෙන් ටිපර් පාක් කරන්නට කැමති අයට එසේ කිරීමට බාධාවක් නැත. ඒත් ඒ ගැන උත්තර බැඳීමට වෙන ම ලිපියක් ලියනවා මිසක මෙහි සාකච්ඡා කරන්නට අදහසක් මගේ නැත. ඒ එයින් අපේ ප්‍රධාන සංවාදයට බාධාවක් වන නිසා ය. එය පසෙකින් තබා සෙස්ස ගත්තොත් ඍජු ව කිව හැක්කේ ආකෘතිය අතින් නාගරික ශිෂ්ටත්වය පෙන්වන හරිනි තවමත් හරය අතින් ඩයනාට වඩා බොහෝ සෙයින් පිටුපසින් සිටින ගැමි කතක් බව ය.

රටේ බහුතරයකට එය හසු නොවන්නේ කරුණු කීපයක් නිසා ය. එකක් මතුපිටින් බලා තිරණ වලට බැසීමේ අලස කම ය. දෙවැන්න ඒ බහුතරය තවමත් ඉන්නේ සංස්කෘතික කුරුස කර තබා ගෙන වීම ය. ඒ හේතුව නිසා ම ඔවුන් විසින් පරිකල්පනය කරන “පිරිමියෙකුටත් වඩා පිරිමියෙකු ලෙස” හැසිරෙන ඩයනා ඔවුන්ට අභියෝගයක් වීම ය. ඒ නිසා ම බැහැර කළ යුතු කෙනෙකු වීම ය. ඇය අනුගමනය කරන්නට ගෙදර උන්දැලා හැදුවොත් දුවන්නට තැනක් නැති පිරිමින්ට ඒ නිසා ඇය වහ කදුරු වීම තේරුම් ගත හැක්කකි. ගැහැණුන් ද ඇයට බය ය. ඒ මේ ගත කරන සුව නින්දට ඇය බාධාවක් නිසා ය. නැගිටින ලෙස ඇය ඝෝෂා කරන නිසා ය.

මා කැමති ඩයනා තරම් අශිෂ්ට චර්යාවක් නැති එහෙත් හරිනි තරම් ග්‍රාම්‍ය නොවන කාන්තාවකට ය. එහෙත් එවැනි ප්‍රතිරූපයක ඩයනාගේ ජවයත් හරිනිගේ ශිෂ්ටත්වයත් දෙක ම නැති වෙතැයි බියක් ද මට ඇත. ඒ නිසා ඒ දෙක ඔය විදිහට ම දෙතැනක සිටිමින් සමාජයට ආමන්ත්‍රණය කරනු දකින්නට ලැබීම වාසනාවකැයි අවසානයේ තීරණය කළෙමි.

මගේ අතීතයට බැණ පල්ලා. මාත් ඒකට බණිනවා. (ස්වයං විවේචනයක්)

ජීවිතයේ එක මොහොතක අපි ආපු මග දිහා ආපහු හැරිල බලන්න හිතෙනව. මගේ ජීවිතය දිහා ආපහු හැරිල බලන කොට කරපු වැරදි ලයිස්තුවක්, අතරමං වෙච්ච අවස්ථා ගණනාවක්, මට හමු වෙනව.

ඒ අතර එකක් තමයි මම අතිශයින් ජාතිවාදී අස්ථානයක සිටි අවස්ථාව (ඒ පාසල් යන කාලයෙ). මට මතක් වෙන එක සිද්ධියක් මෙහි දී විශේෂයෙන් සඳහන් කිරීම වටිනව. අම්ම දුටුගැමුණු කුමාරයගෙ කතාව කියල දීපු දවස. ඒකෙ තීරණාත්මක කෑල්ල තමයි ඇඳට ගුලිවෙල හිටපු ගැමුණු කුමාරයා කියනව එක පැත්තකින් ගොළු මුහුද ය අනෙත් පැත්තෙන් හැඩි දෙමළු ය කියල කියන එක. මම එතකොට ගොඩක් පොඩියි (තුනේ හතරෙ පන්තියෙ වගේ තමයි මතක) මාත් අම්මට පොරොන්දු වෙනව ලොකු වෙල මේ දෙමළු සමූළ ඝාතනය කරන්න. අම්ම ඒකට මොකද්ද දුන්නු උත්තරේ කියල නම් මට මතක නැහැ. දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙනාපු වෙලාවෙ ඒකට විරුද්ධව සමගි පෙරමුණට අයත් පක්ෂ ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ කියල පෙලපාලි යන කොට ගෙදරට ගෙනාපු ඇත්ත පත්තරේ බලපු මට ඒක පට්ට ජාතීවාදී අස්ථානයක් කියල දැනුනෙ නැහැ. කොහොමටත් යූඇන්පී එකට අපේ ගෙදර හිමි වෙලා තිබුණෙ යක්ෂයාගේ තැන. ඉතින් යක්ෂයා ගෙනෙන පනතකට විරුද්ධ වෙන්න ම වෙනව!

පස්සෙ කාලෙක මම බොහෝ දේ කියවනව. ඒවා ඇතුළෙ මේ ජාතිවාදය කියන්නෙ මිනිස්සු ගිල්ල ඇමක් කියල තේරුම් යනව. මම ඒ ඇමෙන් නිදහස් වෙනව. ඒත් ඇත්ත පත්තරේ ආභාෂයත් එක්ක වමට තිබුණු ඇල්ම එහෙම ම තියෙනව. ඒ නිසා හොඳ වමක් -ජාති වාදී නොවන වමක්- මම හොයනව.

මම සරසවියට යන්නෙ අන්න එහෙම මානසිකත්වයක් ඇතුව. ඇත්ත පත්තරේ විතරක් නෙවෙයි ඒ දවස් වල ගෙදරට ගෙනාපු සෝවියට් දේශය, ස්පුට්නික්, චයිනා ටුඩේ සඟරා එහෙමත් සමාජවාදය රටේ ප්‍රශ්න වලට විසඳුම හැටියට මට තෝරා ගන්න හේතුවක් වුනා. සෝවියට් දේශය ඒ වෙන කොට වැටිල තිබුණෙ නැහැ.

එවකට තිබුණු වමේ පක්ෂ ගැන විශ්වාසය බිඳිල තිබුණ නිසා ම නිවැරදි වමේ පක්ෂයක් හොයන තැනක හිටියත් සමාජවාදය මගේ සිහිනය වුනා. ඒක සරසවියෙන් එලියට ගිහිල්ලත් කාලයක් තිබුණ.

සෝවියට්‌ දේශයේ බිඳ වැටීමත් සමග චීනයේ වෙනස් වීම් සමග සමාජවාදය ප්‍රශ්න කරන තැනකට මාව තල්ලු වුනා. පසු කලෙක ආර්ථික විද්‍යාව හදාරණ කොට, තව තවත් කියවන කොට, සමාජවාදය ප්‍රායෝගික නැති මනෝරාජික එකක් බව මට තේරුණා. ඒ ඔස්සේ කල්පනා කරන විට පෙනුන දෙයක් තමයි පරම්පරාවෙන් (දෙමාපියන්ගෙන් විතරක් නෙවෙයි එවතට සක්‍රීය වුනු සමාජයෙන් ද ලැබුණු) මේ උරුම දෙක ම, ජාතිකත්වය හා සමාජවාදය යන දෙක ම, අපේ රට අද මේ තත්වයට වග කියන්නට ඔ්නෑ බව මට තේරුම් ගියා.

ඒ විතරක් නෙවෙයි ඔලුව උඩ තියාගෙන ඉන්නා අපේ කම, වැඩිහිටියන්ට පූජකයන්ට වන්දනා කරන බලධුරාවලිය, අසරණ කම දුප්පත් කම නැති බැරි කම උත්කර්ෂයට නැංවීම සහ අවදානම් ගැනීමට ඇති බිය වගේ අපේ මනස වෙලා ගෙන ඇති සංස්කෘතික කාරණාත් අපේ මේ වැටීමට හේතු වන බව පෙනී ගියා.

මට, සහ අපේ පරම්පරාවට, උරුම කරල දුන්නු සංස්කෘතික කුරුසිය දිගට ම අරන් යන්න වුවමනාවක් මට තිබුණෙ නැහැ.

ඒ සියල්ලට එරෙහි ව, ඒ සියල්ලටත් වඩා අතීත මට එරෙහි ව, අවි දරන්න ඔ්න කියල මම තීරණය කළා. පරම්පරාවෙන් උරුම කරන ලද දේ කාලයක් තර තබා ගෙන ගියාට ඒක දිගට ම කර ගහ ගෙන යන්නෙ මොකට ද, පැහැදිලි ව ඒක අනවශ්‍ය බරක් කියල තේරුම් ගත්තටත් පස්සෙ? ඉතින් මම අද ඉන්නෙ ඔතැන. මගේ අතීතයට බැණ පල්ලා. මාත් ඒකට බණිනවා.

සංගෙ නැති එවුන්

සංගෙ නැති එවුන් දෙන්නෙක්

ගේ ළඟ අත්තක ‍වහල

හුුුුුරතල් වෙනව අම්බ දහවලක

ප්‍රසිද්ධියේ

තොලට තොල තියාලා

වාරණයකින් තොරව ම

කොටු දාන්න වත් එකෙක් නැති හැටි

පොලීසිය නිදි ද

මේ සුචරිත බිමේ

නැත්නම් මෙහෙම නාඩගම් බලන්න

අපි කොච්චර නම් පවු කරල ඇද්ද?

ළමයෙක් දැක්කොත්

උන්ගෙ විලිසංගෙත් නැතිවෙන වැඩක් මේක

සිවුරු හොරෙක් වත් නැද්ද

මුන්ට පින් පව් කියල දෙන්න.😏🤣🤩

පූජනීය දේ විමසිය නොහැකි ය

  • නිශාන්ත කමලදාස

කල් ඉකුත් වූ දෑ ඉවත් කිරීමේ වගකීම ගැන අප පසුගිය සටහනක කතා කළෙමු. අද කතා කරන්නට යන්නේ එසේ ඉවත් කිරීමට අපට නොහැකි ව තිබෙන්නේ ඇයි ද යන්න ය. ඒ පිටුපස ඇත්තේ ඇතැම් දේ ට අප වන්දනා කිරීම ය. දෑත් එක්කොට ම නොවෙතත් හදවතින් වන්දනා කරන දේ බොහෝ ය. පූජනීය දේ මිනිසුන් විසි කරන්නේ නැත.

බොහෝ දෙනෙකු වන්දනා කරන්නේ ආගම ය. එසේ කරන අය අතරින් සමහරු වන්දනා කරන්නේ දෙවියන් ය. සමහරු තමන්ගේ ආගමික ශාස්තෘවරයා ය. තවත් අය ආගමික පත‌ පොත ය. වඳින්නේ සූත්‍ර පිටකයට, බයිබලයට, කුරාණයට හා භගවත්ගීතාවට ය. සමහරු වඳින්නේ ජාතියට ය. ඇතැමුන් රටට ය. තවත් අය තම තමන් තෝරා ගත් වීරයින්ට ය. දේශපාලන නායකයන්ට ය. තවත් අය ඉගෙන කියා ගත් පාසලට ය. ඇතැමෙක් කුමක් හෝ මතවාදයකට ය. තවත් අයෙක් අතීත සම්ප්‍රදායන්ට ය.

මේ හැම දෙනෙකු ම කරන්නේ තමන් වන්දනා කරන දෙයට සතුරු කමකි. ඔබ විමතියට පත් ව ඇත්නම් එය සාධාරණ ය. කුමක් නිසා ද යත් අප වන්දනා කරන්නේ කැමති නිසා වීම ය. කැමති දෙයක් සතුරු වන්නට ඉඩක් අප දන්නා තර්කයට අනුව නැත. සත්‍යය එය ද? ආදරේ වැඩි වූ විට එය ම ප්‍රශ්න ඇති කරන බව ඔබ අසා නැද්ද? ආදරය අන්ධ බව ඔබ අසා නැද්ද?

ආදරයේ දී මෙන් ම වන්දනා කිරීමේ දී ද වන්නේ අප අන්ධ වීම ය. ඒ අප වන්දනා කරන දෙයෙහි දිස්නයෙනි. වන්දනා කරන දෙයක් අප ප්‍රශ්න කරන්නට යන්නේ නැත. සැක කරන්නට යන්නේ නැත. විමසන්නට යන්නේ නැත.

අප සතු ව ඇති යම් පාෂාණයක් මැණිකක් ද නිකම් නිකම් ගලක් ද යැයි නිෂ්චය ලෙස කිව හැක්කේ එය කපා ඔප මට්ටම් කිරීමෙනි. එය කෙරෙහි ලෝභයෙන් එය රැක ගෙන සිටීමෙන් නොවේ. කපා ඔප මට්ටම් කරන විට සමහර දේ හැලෙන බව, විසි කරන්නට සිදු වන බව, ඇත්ත ය. එහෙත් එසේ නොකර ඔපය ලබා ගන්නට බැරි ය. ඒ සඳහා අත්හැරීම පුරුදු පුහුණු කළ යුතු ය.

කාලයක් යන විට ඇතැම් දේ කිලුටු වේ. ඒවාට විවිධ කුණු කන්දල් එකතු වේ. තවත් දේ දිරා යයි. තවත් දේ කල් ඉකුත් වෙයි. ඒ නිසා එක කලෙක අප වන්දනා කළ දෙයක් දිගින් දිගට වන්දනා කිරීමෙන් වන්නේ අවැඩකි. එහෙත් අප මේ බව පිළිගන්න්ට මැලි ය.

අපේ මුතුන් මිත්තන් ගස් ගල් වන්දනා කළ බව ඇත්ත ය. ඒත් අප එය දිගින් දිගට සිදු කළේ නැත. අවබෝධය පහළ වන විට ඒවා අත් හැරීමට අපට හැකි විය. ඒ පහසුවෙන් නොවේ. දිගු කාලීන අභ්‍යන්තර අරගලයකට පසු ය. පරම්පරා ගණනක් ගත වීමෙන් අනතුරුව ය. ඒ සඳහා වෙනත් විකල්ප සොයා ගැනීමෙන් පසු ය. ඒ කුමක් වුව ද වැඳීම අවසන් වූයේ නැත. සිදු වූයේ ඉලක්කය පමණක් වෙනස් වීම ය.

වත්මන් යුගයේ ප්‍රශ්නය වී ඇත්තේ සියල්ල ඉක්මනින් වෙනස් වන ලෝකයක අප ජීවත් වීම ය. ඒ නිසා ම කල් ඉකුත් වූ ඒවා ඉක්මනින් අත් හැරිය තරමට අපට ජීවිතය පහසු වන්නේ ය. ඒ නිසා ම කිසිවක් වන්දනා නොකර සිටීම හොඳ ය. යම් යම් දේ අගය කිරීමේ වරදක් නැත. එහෙත් ඒවා වෙනස් නොවන පරම සත්‍යය සේ සලකා වන්දනා කිරීම නම් ප්‍රශ්නකාරී ය.

කළමනාකරුවෙකුට මෙය අදාළ වන්නේ කෙසේ ද? කළමනාකරුවෙකු අතීතයෙන් උගත් දෑ බොහෝ ය. ඇති කර ගෙන ඇති මූලික උපකල්පන (paradigms) බොහෝ ය. ඒවා දැඩි ව ගැනීම ඒවා වන්දනා කිරීමට සමාන ය. එසේ වන්දනා කරන කළමනාකරුවෙකු ඒවා විමසන්නට ඉදිරිපත් වන්නේ නැත. ඒවා කවරෙකු විසින් හෝ ප්‍රශ්න කරනු ලබනවා ට කැමති නැත. ඒවා විචාරය කරනවාට කැමති නැත.

දඬුවම් දීම සම්බන්ධයෙන් සම්ප්‍රදායික මතය වූයේ එසේ නොකොට මිනිසුන් නිවැරදි කළ නොහැකි බව ය. ඒ නිසා වැරැද්දක් සිදු වූ වහාම බැණ අඬ ගැසීමෙන් නොනැවතී කිසියම් දැඩි දඬුවමක් දිය යුතු බව බොහෝ කළමනාකරුවන්ගේ කල්පනාව ය. හැඳි නොගා හදන හොද්දත් දඬුවම් නොදී හදන දරුවාත් දෙක ම එක වගේ නරක බව කියන සම්ප්‍රදායික අදහස මේ චර්යාවෙන් මූර්තිමත් වෙයි. ඒත් බොහෝ නව පර්යේෂණ විසින් අනාවරණය කර ඇත්තේ එය ඵලදායී නොවනවා පමණක් නොව ඇතැම් තැනක වඩාත් නිෂේධනීය ප්‍රතිඵල පවා ඇති කළ හැකි බව ය. දඬුවම් දීම සම්බන්ධ සම්ප්‍රදායික මතය දරණ කෙනෙකු මේ නව පර්යේෂණ ප්‍රතිඵල දෙස බලනු ඇත්තේ සෝපහාසයෙනි. දඬුවම් දීම පිළිබඳ ව ඒ තැනැත්තාගේ සම්ප්‍රදායික මතය පවතින්නේ විමසන සීමාවෙන් ඔබ්බෙහි නිසා ය. ඒ මතය පූජනීය නිසා ය. ඒ නිසා ම තමන්ගේ තම හිතේෂීන්ගේ උදාහරණ ගෙන එමින් ඔහු නව පර්යේෂණ ප්‍රතිඵල හෑල්ලු කරනු ඇත්තේ ය. අද පවතින බොහෝ ගැටලු වලට හේතුව මෙවැනි සම්ප්‍රදායික අදහස් වලට ගරු කිරීමට වත්මන් පරම්පරාව නොදන්නා බව යැයි ඔහු / ඇය කියනු ඇත. ඒ සඳහා උදාහරණ අතනින් මෙතැනින් අහුලා ගෙන ඔහු මේ ප්‍රතිඵල ප්‍රශ්න කරනු ඇත. පාලනය කරන ලද පර්යේෂණ මගින් සොයා ගත් කරුණු අතනින් මෙතැනින් අහුලා ගත් නිරීක්ෂණ මගින් යටපත් කර දමනු ඇත.

බැරි වෙලාවත් ඔහු හෝ ඇය නව පර්යේෂණ ප්‍රතිඵල පිළිගන්නේ නම් සිදු වන්නේ තමන් සෙසු අයට දඬුවම් දෙමින් කළ අතීත වැරදි සියල්ලේ වගකීම දරා ගැනීමට සිදු වීම ය. ඒ සම්බන්ධයෙන් පසුතැවිලි වීමට සිදු වීම ය. ඊට වඩා පහසු තමන් එසේ කරන ලද්දේ තමන් පූජනීය ලෙස ඇදහූ ඒ සම්ප්‍රදායික මතය නිවැරදි බව දිගින් දිගට කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටීම ය.

ලෝකයේ ප්‍රශ්නය වී ඇත්තේ බුද්ධිමතුන් පරිස්සමින් අඩිය තබන තැන් වල මෝඩයන් පිනුම් ගැසීම යැයි කියන කතාව හට ගන්නේ මෙවැනි හැසිරීම් නිසා විය යුතු ය. තව කෙනෙකු එය ම විස්තර කළේ මෙසේ ය. ඒ මෝඩයන් දැඩි විශ්වාසයෙන් පෙලෙන තැන බුද්ධිමතුන්ට සැක සංකා රාශියක් ඇත යනු යි. අපට නැවුම් විය හැක්කේ කිසි දෙයක් පූජනීය ලෙස බාර ගැනීමෙන් වැළකීමෙන් ය.

සන්නාගේ No stopping or Turning Back (නැවතීමක් හෝ නැවත හරවා යෑමක් නැත) පොත

  • නිශාන්ත කමලදාස

No stopping or Turning back යන බිල්බෝඩ් එක අප දකින්නේ අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ය. එහෙත් එය අප මේ යන දිවි ගමනට ද එක සේ අදාළ ය. තනි තනි පුද්ගලයාගේ පෞද්ගලික ගමනට පමණක් නොව සමාජයේ පොදු ගමනට ද එය අදාළ ය. ඒ ගමන නවතිනු නොහැකි ය. නැවත හැරවීමක් ද නැත. එසේ කළ හැක්කේ තමනට ද අනුන්ට ද විනාශයක් වන පරිදි ය. මේ ගමන නතර කළ අය සිය දිවි නසා ගත් බව කතාව අපට කියන්නේ ය. හරවන්නට උත්සහ කළ අය (ආගමික හෝ දේශපාලනික) පූජක දිවියට  පිවිස නැවතත් ඉදිරියට හැරී ඒ මග ඔස්සේ ම බාහිර පෙනුමෙන් වෙනස්, එහෙත් අභ්‍යන්තරයෙන් සම, අමුතු ම සතෙකුගේ පෙනුමෙන්, අන් අයටත් වඩා වේගයෙන් හා තිරශ්චීන ව ඇදී ගිය බව ද ඒ නිසා ම සෙසු අයට ද විනාශය ගෙනා බව ද කතාව කියවා ගෙන යන විට අපට පෙනෙන්නේ ය.

ඉතින් No stopping or Turning back යන නාමය උපුල් ශාන්ත සන්නස්ගල තමන්ගේ අලුත් නවකතාවට තෝරා ගැනීම ම එහි තේමාවට ඔහු කළ සාධාරණයක්, යුක්තියක්, ලෙස මම සලකමි.

එහි කවරයේ සඳහන් නම ඉංග්‍රීසි ය. ඇතුළ අමු සිංහල ය. එය පොදුවේ, මේ පොත කියවන මාත් ඔබත් ඇතුළත් ශ්‍රී ලාංකික දැන උගත් මධ්‍යම පංතියේ පමණක් නව ලෝකයක් සොයා සංක්‍රමණය වූ බහුතරයක් ලාංකිකයන්ගේ ද චරිතය ප්‍රකාශ කරන්නක් යැයි මට සිතේ. නවකතාවේ ප්‍රධාන චරිතය වන චත්‍ර නියෝජනය කරන පරම්පරාව ද එයින් අබ මල් රේණුවක වෙනසක් නැත යන්න මගේ හැඟීම ය. ඒ නිසා ම ඒ ආකෘතිමය හරඹය ද නවකතාවට අපූරුවට ගැලපෙයි.

කතාව ආරම්භ කරන්නේ ඌබර් කැබ් එකක් ඇණවුම් කිරීමේ ක්‍රියාවලියකිනි. ඒ හරහා ඔහු නවකතාවේ පසු බිම මේ යැයි දක්වයි. චරිත වලට පිවිසීමට පෙර වේදිකාව සෙට් කරයි. ඇණවුමෙන් අනතුරුව චත්‍ර ට ලැබෙන තොරතුරු සම්භාරය ලේඛකයා අප ඉදිරියේ දිග හරින්නේ ය. රථයේ වර්ණය, අංකය, වර්ගය, රියදුරාගේ නම, දුරකථන අංකය, ඔහුගේ පළපුරුද්ද, ඔහුගේ රේටින් එක, රථයේ වත්මන් පිහිටීම, එය ළඟා වෙන ගමන් මාර්ගය, අපේක්ෂා කළ හැක්කේ මිනිත්තු කීයකින් ද යන වග, ගමනට ගත වන කාලය, ඒ සඳහා ගෙවිය යුතු ගාස්තුව, යන එකී නොකී තිරයේ දිග හැරෙන තොරතුරු පිළිබඳ විස්තරයක් ඔහු අපට ගෙන එන්නේ අප ජීවත් වන තොරතුරු ලෝකය, ඒ යුගය, ගැන ඉඟියක් දෙමින් ය. ඉසෙඩ් පරම්පරාව සතු මෙවලම් වරප්‍රසාද ගැන අදහසක් සපයමින් ය. නවකතාව දිග හැරෙන සන්දර්භය පෙන්වා දෙමින් ය.

රියදුරා අයිති පරණ පරම්පරාවට වුව ද ඔහු අලුත් ලෝකය තේරුම් ගන්නට උත්සහ කරමින් සිටියි. රථයට ගොඩ වදින චත්‍ර අයිති නව පරම්පරාවට ය. එහෙත් ඔහු ලෝකයෙන් විතැන් වී ඇත. ඔහුට අවශ්‍ය ලෝකයෙන් ගැලවීමට ය. ඔහු ජීවත් වන්නේ ඔහුගේ ම සිතුවිලි ලෝකයක ය. රියදුරාට සම්බන්ධයක් හදා ගන්නට ඔ්නෑ වුව ද චත්‍රට අවශ්‍ය එවැන්නක් මග හැරීමට ය. කතාව කියවන අය මේ සියුම් තැන් අල්ලා ගත යුතු යැයි මට සිතේ. කතාව බරට ම දැනෙන්නේ එවිට ය.

රථය කන්ද වත්තෙන් නාවල පාරට දමා ඇදී යන්නේ බොරැල්ල මං සන්දිය හරහා ය. මග තොරතුරු ලස්සන ය. චත්‍ර දමා යන රට පිළිබඳ අදහසක් එය අපට කියන්නේ ය. චත්‍රගේ උරුමය ගොඩ නැගුණු හැටි පිළිබඳ කතන්දරය ද එහි අඩංගු ය. “බොරැල්ල හන්දියේ දකුණු පස එලොවටත් මෙලොවටත් නැති ගූඩ සුපර් මාර්කට් ගොඩනැගිල්ලකි. අතීතයේ දවසක කනත්තේ සිට පිළිවෙළින් ගිනි තැබුණු ආනන්ද භවන් හෝටලය වම් පසිනි. ගරා වැටෙමින් තිබෙන දාස මුදලාලිගේ මූසල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹී ඇත”. මේ අතුරු කතා තුළ මහා කතා රාශියක් ද ගැබ් ව තිබේ. කියවන්නා ඒවා ද සෙමින් කියවිය යුතු ය.

කතාවේ මට ප්‍රබල ව දැනුණු තැන් කිහිපයකි. ඉන් එකක් සංගීත ගුරුවරිය පිළිබඳ ව ය. ඇයත් පාසල් දරුවෙකු වූ චත්‍රත් අතර සම්බන්ධය ලේඛකයා අපට පෙන්වන්නේ දිග හැරෙන සිද්ධි දාමයක් ඔස්සේ ය. ඒ සිද්ධි දාමය දිග හැරෙන විට අප කොයි මොහොතේ හෝ මේ දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇති වේ දැයි අපේක්ෂාවෙන් සිටි බව අපට පෙනෙන්නේ ඇයගේ තුරුළට වී චත්‍ර සුවසේ නිදා ගත් බව සඳහන් කරන විට අප තුල ඇති වන අපේක්ෂාභංගත්වය නිසා ය. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර සම්බන්ධය අපට ලිංගික සම්බන්ධයක් ලෙස මිස වෙන ආකාරයකට දැකිය නොහැකි කමක් තිබෙන්නේ ය. ඊට පසු මේ සිද්ධිය අරබයා දිග හැරෙන අතුරු කතන්දර වලින් ද අපට පෙනෙන්නේ සමාජය නම් කොහොමටත් ඒ විදිහට ඇරෙන්නට වෙන විදිහකට බලන්නට සූදානම් නැති බව ය. මෙය මිනිසුන් එකිනෙකාගෙන් ඈත් කරවීමට කොතෙක් දායක වී ඇද්දැයි සොයා බැලිය යුතු නොවේ දැයි කෙනෙකුට නොසිතෙන්නේ නම් පුදුමයකි. ඒ සිද්ධි දාමය ඒ තරම් ම විචිත්‍රව ලේඛකයා විසින් ලියා ඇති නිසා ය. සංගීත ගුරුවරිය සිය ආර්ථික බලය නිසා මේ පටලැවිල්ලෙන් ඉවත් වූව ද චත්‍ර ඊට හසු වෙයි. එහි ගොදුරක් බවට පත් වෙයි. බිඳ වැටුණු ප්‍රතිරූප නැවත ගොඩ නැගීම පහසු නැත. දරුවන්ගේ ආත්මාභිමානය කඩා දමන මිනිසුන් මේ ගැන සංවේදී විය යුතු ය.

තවමත් ඔසවා ගෙන සිටින සංස්කෘතික කුරුස නිසා මිනිසුන් කොතරම් අසරණ වී ඇද්දැයි පෙන්වන තව ප්‍රබල අවස්ථාවක් අප දකින්නේ ටියුෂන් ගුරා චත්‍ර ව වසඟයට ගන්නා ආකාරය ඇසීමෙනි. එය ද මට ප්‍රබල ව දැනුණු තැනකි. ගුරුවරයෙකුට කොහොමටත් සමාජ බලයක් අපේ සංස්කෘතිය විසින් උරුම කොට දී තිබේ. ගුරුවරයා නිකම් වෘත්තිකයෙකු නොවේ. ගුරු පියෙකි. ඉතින් ගුරු පියෙකුට අවනත නොවී සිටීමට ගෝලයෙකුට නොහැකි ය. ඊටත් අමතර ව‌ මේ ගුරා ආගම නැමැති දඬු අඬුව ද චත්‍ර ව කොටු කර රඳවා ගැනීමට යොදා ගනියි. කෙනෙකු වසඟය ට ගැනීමේ කුසලතා ද සිය ගුරු භූමිකාව ඔස්සේ නොමද ව ලබා සිටින ඔහු මේ සියල්ල චත්‍ර අසරණ කිරීමට භාවිතා කරයි. තමන් වෙත හෙලන මේ බර පෙරලා දමා නිදහස් වන්නට ඉසෙඩ් පරම්පරාවට හෝ නොහැකි ව තිබීමේ ඛේදය ලේඛකයා මනරම් ව සිත්තම් කර ඇත. ඉසෙඩ් පරම්පරාව කොතෙක් වෙනස් වුව ද මේ සිද්ධියේ දී අංගුලිමාල බවට පත් වූ අහිංසකට වඩා පරිචයක් පෙන්වා නැත.

චත්‍රගේ ලෝකය ප්‍රධාන වශයෙන් තරුණයන් විඳින ගැහැට පෙන්නුම් කරන විට එය ඡේදනය කරමින් වරින් වර මුණ ගැසෙන ගානුගේ ඊමේල් පණිවුඩ තරුණිය විඳින වේදනා විස්තර කර දෙයි. තරුණියන්ට හිමි ව ඇත්තේ පෞරුෂය අහිමි කරනු ලැබූ ප්‍රේමවන්තයන් ය. ආදරය කිරීමට නොහැකි ව බිය වද්දනු ලැබූ තරුණයන් ය. තරුණියන්ට පළමු පියවර තැබීමට අවසර නැති සමාජයක එය සැබෑ ම ඛේදවාචකයකි.

ඒ ඊමේල් අතරින් වඩාත් මගේ සිත් ගත්තේ පියා විසින් ගානුට ලියන ලද ලිපිය අඩංගු පණිවුඩය ය. ඒ ලිපිය හරහා ගානුට පවරා ඇති මහගෙදර වගකීම ය. පරම්පරා නමයක් තිස්සේ පවත්වා ගෙන ආ දැනට දිරාපත් වෙමින් පවතින ඒ කෞතුක වස්තුවේ බර ගානුගේ ඔලුව මත රැඳවීමේ උත්සහය ය. නව ලෝකයට නිදහසේ විවෘත විය නොහැකි වී ඇති එක දම්වැලක් වන්නේ මේ මහගෙදර ය. භෞතික මහගෙදරට අමතර ව එයින් සංකේතවත් කරන්නේ ඉතිහාසයේ උරුමය ය. සංස්කෘතියේ බර ය. එය තරුණියකට නොව පොදුවේ නව පරම්පරාවට මුහුණ දීමට ඇති අභියෝගයකි.

දුවනි අක්කා ද තරුණියන්ගේ පමණක් නොව තරුණයන්ගේ ද ඛේදවාචකය හඬ ගා කියන චරිතයක් ලෙස ගොඩ නගා තිබේ. ආදරය අහිමි කරනු ලැබූ, විනය නීතිවලින් බැඳුණු නේවාසිකාගාරයක හිර කරනු ලැබූ, විභාගය සමත් වීමේ තරඟයට තල්ලු කරනු ලැබූ, රස වින්දනය අහිමි කර අතිශය වියලි ජීවිතයකට සීමා කරනු ලැබූ, පූජනීය ගුරු භූමිකාවක් විසින් අපචාරයට බඳුන් කරනු ලැබූ, තරුණ පරපුරේ ඛේදවාචකය ඇය තුළින් මූර්තිමත් වේ. චත්‍රට තරම් අසපුවකට රිංගීමකට පවා නිදහස් නැති ඇය විසින් තෝරා ගනු ලබන්නේ ජීවිතය නතර කිරීමට ය. එහෙත් No stopping නිසා ම ඇයට ඉතිරි වුනේ දිවි නසා ගැනීමට ය. ඒ සියල්ලෙන් ම පීඩා ලද චත්‍ර දිවි නසා ගැනීම වෙනුවට තෝරා ගන්නේ අසපුවක මහණ වීම ය. නැවත හැරී යාමට ය. Turning back එකකට ය. එහෙත් අසපුව තුළ තිබුණේ ද එලියේ ජීවිතය ම ය. එය කීප දෙනෙකුගේ සුඛ විහරණය උදෙසා, අනාගත සිහින උදෙසා, තරුණ තරුණියන් බිලි දෙන “පූජනීය” උගුලක් බව චත්‍රට තේරුම් යන්නේ කාලයක් එහි ගත කළ විට ය. ඒ තුළ ඇත්තේ සමාජය විසින් ලෙඩ කරනු ලැබූ මිනිසුන් ය. ඔවුන් සුවපත් කරනු වෙනුවට, උන්ට අභය භූමියක් වෙනු වෙනුවට, ඔවුන් ගාල් කරන වහල් කඳවුරක් බවට ඒවා පත් ව ඇති බව සාක්ෂාත් කරන චත්‍ර එය ට ආයුබෝවන් කියන්නේ No Turning Back කියන්නේ කුමක් දැයි අවබෝධ කර ගෙන ය. ඉදිරියට ම යන්නට තීරණය කර ගෙන ය.

ඊළඟට ප්‍රබල ව දැනෙන තැන අරගල භූමිය ය. අරගල භූමිය කියන්නේ බොහෝ දෙනෙකු තමන් කාපු දේ වැමැරූ තැන ය. පව් සෝදා ගත් තැන ය. එතැනට ආ ගිය අය එය සැලකුවේ කාලයක් තිස්සේ යටපත් කර තිබූ හැඟීම් නිදහසේ කියන්නට ලැබුණු නිදහස් නිවහල් භූමියක් හැටියට ය. අරගලය කළේ ගෝඨාට එරෙහිව පමණක් නොවේ. සමස්ත සමාජයට ම එරෙහි ව ය. එය විසින් පටවා ඇති බරට එරෙහිව ය. ඒ තුළ ප්‍රගීත් එක්නැලිගොඩත් ලසන්ත වික්‍රමතුංගත් අතුරුදහන් වූ උතුරේත් දකුණේත් දරුවනුත් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයත් හොල්මන් කළහ. ඒ භූමිය තුළ මිනිස්සු තමන්ගේ වේදනාව කියා සිටිය හ. එහෙත් එය පවා සංස්කෘතික බරෙන් නිදහස් වූයේ නැත. විවිධ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වූ අතර අනුක්‍රමයෙන් සමාජ තහංචි ඇතුළත් වී එය ද වෙනත් ස්වරූපයක සිර කඳවුරක් වන ස්වභාවයක් පෙන්නුම් කළේ ය. එය මුල දී ඉසෙඩ් පරම්පරාවේ ඝෝෂාකාරී‌ වේදනාවේ ප්‍රකාශයක් වූ නමුත් ඉක්මනින් සමාජය දේහය ඔඩුදුවා තිබූ රෝග තවදුරටත් පැතිරෙන තැනක් බව ට පත් විය. ආරෝග්‍ය ශාලාව ම රෝග නිවාරණය කරනු වෙනුවට නව රෝග බෙදා හැරීම බාර ගෙන තිබුණේ ය. සමාජය තුළ පැතිර ඇති සංස්කෘතික සෙවනැල්ලේ බියකරු ස්වභාවය, එයින් ගැලවීමට ඇති නොහැකියාවේ අසරණ කම යන සත්‍යය ද ඒ නිසා ඇති වෙමින් තිබූ උමතු බව ද හෂාන් හරහා ලේඛකයා අපට ප්‍රබලව ද රසවත් ව ද කියා තිබෙන්නේ ය. ඉදිරියට යා නොහැකි හෂාන් ද අවසානයේ දිවි නසා ගන්නේ ය.

එහෙත් අපට කතාව ඉඟියක් දෙන්නේ හෂාන් ප්‍රනාන්දු යනු චත්‍රගේ සිතිවිල්ලක් පමණක් විය හැකි බව ය. පොලිස් වාර්තා වල ඒ නමින් කිසිවෙකු වූ බවට සාක්කි නැතැයි ලේඛකයා විවිධ තොරතුරු ඉදිරිපත් කරමින් කියන්නේ ය. එයින් අපට පෙනී යන්නේ හෂාන් ලෙස රඟ පා ඇත්තේ ද චත්‍ර ම බව ය. හෂාන් යනු චත්‍රගෙන් බිඳුණු ඔහුගේ චරිතයේ ම තවත් පැති කඩක් බව ය. එය මේ කතාවේ ආකෘතියේ මනරම් බව පිළිබඳ අදහසක් ද අපට ලබා දේ. ඒ අනාවරණයත් සමග මේ කතාවේ කුමන චරිතයන් “සැබෑ” චරිත ද කුමන ඒවා චත්‍රගේ මනස විසින් උත්පාදනය කරනු ලැබූ චරිත ද යන සැකය මතු කරයි. ගානු හා ඇතැම් විට සංගීත ගුරුවරිය පවා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් චත්‍රගේ හිතළු වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි බව අපට දැනේ. ඉන්ද්‍රජාලික හා යථාර්ථය කතාවක් තුළ සෙවීමේ නිෂ්ඵල බවට අපට ඒත්තු ගන්වමින් කතාව අවසන් වේ. අපේ ජීවිතය ම එක ම කතන්දරයකි. ඒ තුළ ද සැබෑ චරිත මෙන් ම මවා ගත් චරිත ද බොහෝ ය. එසේ තිබිය දී කතාවක් එයින් ගැලවෙන්නේ කෙසේ ද? විශේෂයෙන් එය කතන්දරයක් වන කල!

කතන්දරයේ තව ප්‍රධාන චරිත දෙකක් ඇත. එකෙක් බොංචෝ ය. අනෙකා බ්‍රවුනි ය. දෙදෙනා ම බලු පැටවුන් ය. චත්‍රගේ ජීවිතයට වඩාත් සමීප මේ බලු පැටවුන් ය. චත්‍ර තමන්ගේ කතාව කියන්නට, දුක වේදනාව බෙදා ගන්නට, භාවිතා කරන්නේ ඔවුන් ව ය. බ්‍රවුනි ගැන එක තැනක මෙසේ සඳහන් ය. “බ්‍රවුනි සිල්වත් ය. ශිෂ්ට ය. ශික්ෂිත ය. අල්පේච්ඡ ය. එහෙයින් හේ තෙමේ හික්මුණු ශ්‍රමණයෙකි.”

පරණ ඇරියස් එකක් ඇති රියැදුරෙකුගේ රිය සකට අසු කර බොංචෝ ව මරා දමනු ලබන ලේඛකයා බ්‍රවුනි ව අත් හැර දමන්නට චත්‍ර ව මෙහෙයවයි. ඔහු ජපානය බලා පිටත් වන්නේ මෙසේ තමන්ගේ හිතේෂීන්ගෙන් වෙන් කරනු හා වෙන් කරනු ලැබීමට බල කෙරුණු අතරමං වුනු තරුණයෙකු හැටියට ය. චත්‍රගේ ඒ ගමන නැවත වතාවක් අපට කියන්නේ අප යන්නේ No stopping or Turning Back ගමනක් කියා ය. නරිටා ගුවන්‌ තොටුපොලෙන් චත්‍රගේ කතාවේ පරිච්ඡේදයක් අවසන් වෙතත් ඉසෙඩ් පරම්පරාවේ කතාව දිගට ම ගලා යනු ඇත. ඔවුන්ට ඔවුන් මත පටවා ඇති පිට කටුව ඉවත් කිරීමට තවත් කාලයක් ගත වනු ඇත. මෙවැනි පත පොත ඒ කටයුත්ත ඉක්මන් කරනු ඇත.

No stopping or Turning Back යනු මම ලියන්නට කැමති, එහෙත් කිසි දා මට ලියන්නට නොහැකි, නව කතාව ය. ඒ මට, කියවා අවසන් වූ පසු, නවකතාව දැනුණු හැටි ය.